Top Ad unit 728 × 90

recent post

recent

දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය වෙන්නේ නැත්නම් එදාට වෙන්නේ මොකද්ද..?

මෙම ලිපිය උපුටාගැනිමකි

ලෝක විනාශය වන ක්‍රම කීපයක්...

වෙනත් ග්‍රහ ලෝකයක් පෘථිවියේ ගැටීමෙන්..

සූර්ය කුණාටු මඟින්... 

පෘථිවියෙ චුම්භක ක්ෂේත්‍රයේ උතුරු - දකුණ මාරුවීමෙන්...
  
ක්ෂිරපථයේ මන්දාකිණියේ මධ්‍ය ලක්ෂය සූර්යයා හා පෘථිවිය එකම රේඛියව පිහිටුවීමෙන්...පෘථිවිය විනාශ වීමට පුළුවන... 

මේ දිනවල ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ලෝක විනාශය සම්බන්ධයෙන් මතුවී තිබෙන මතයන් ගැනය. 

කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙකු දක්වා වර්ධනය වූ කතාව මෙන් ලෝක විනාශය ගැන ද විවිධ වූ කට කතාන්දර මතු ව තිබෙනවා.


මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා හමු වී අප සාකච්ඡා කළා. ලෝක විනාශය ගැන මතයක් පහළ වී තිබෙන්නේ ‘මායන්වරුන්ගේ’ දින දර්ශනය මේ වසරේ දෙසැම්බර් මස 21 වැනිදා අවසන් වන නිසයි.

මේ නිසා ගි‍්‍රනිච් වේලාවෙන් දෙසැම්බර් 21 වැනිදා දහවල් 11.11 ට එසේත් නැත්නම් ලංකාවේ වේලාවෙන් හවස 4.41 ට මේ විනාශය 

සිදුවන බව පැවසෙනවා. එසේම මේ වන විට අන්තර්ජාලය හරහා පැතිර යන තවත් මතයක් වන්නේ දෙසැම්බර් 23, 24, 25 තෙදින ලෝකය සම්පූර්ණ අඳුරු වන බවයි. එම කරුණ උදෙසා ද බොහෝ දෙනා බිය පළ කර තිබෙනවා.

එහෙත් මේ කිසිදු ප්‍රචාරයක සත්‍යයක් නොමැති බව මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. අසත්‍ය ප්‍රචාර, මවාපෑම් සඳහා ද අද විද්‍යාව උපයෝගී කරගෙන තිබෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැහැ. එසේනම් මොකක්ද මේ ලෝකෙම කලබලය. ලෝක විනාශයක් නැතත් අඩුම තරමින් අපට වෙනත් ග්‍රහලෝකයක බලපෑමක්වත් ඇති වෙයි ද?

මායන්වරුන්ගේ දින දර්ශනය අවසන් වීම පමණක් මේ සඳහා පදනම් වී තිබෙනවා ද?

මායන්වරු යනු කවුරුන් ද?

ඔවුන්ගේ දින දර්ශනය අවසන් වූ විට ලෝක විනාශය සිදුවන බව පැවසුවේ කවුරුන් ද?

ලෝකයේ තාරකා විද්‍යාව හැදෑරීමේදී මායන්වරුන්ට මුල් තැනක් ලැබෙනවා. මායන්වරුන්ට පෙරත් දින දර්ශන පැමිණ තිබුණත් මායන්වරුන්ගේ දින දර්ශනයට ලෝකයේ හොඳ තැනක් ලැබී තිබුණා.

කරකැවීමේදී එක් එක් දින ලැබෙන මායන්වරුන්ගේ දින දර්ශනයට අනුව සූර්යග්‍රහණ මෙන්ම චන්ද්‍රග්‍රහණ සිදුවන දිනයක් ද නිවැරැදිව කියන්න පුළුවන්. ඔවුන් පිරමිඩ වැනි දේ සාදා තිබෙන බවත් වාර්තා වනවා.

මේ පිරිස් ක්‍රිස්තු වර්ෂ 250 - 900 අතර කාලයේ ඉහළින් වැජඹී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 900 න් පසුව මේ පිරිස්හි පිරිහීමක් දක්නට තිබෙනවා.

ඉන් පසුව මැක්සිකෝව හා ගෝතමාලා රටවලට මේ පිරිස් සීමා වී තිබෙනවා. අද වන විට මෙරට ආදිවාසීන් මෙන් ගෝත්‍රික ජනතාවක් ලෙස ඔවුන් එම රටවල ජීවත් වෙනවා. මායන්වරුන්ගේ පිරිස 1500 ක් පමණ සංඛ්‍යාවකට සීමා වී තිබෙනවා.

ඔවුන්ගේ වර්තමාන නායකයා වන්නේ ‘පිලිප් ගෝමස්. ඔහු පැහැදිලිවම කියා සිටින්නේ ඔවුන්ගේ දින දර්ශනය දෙසැම්බර් මස 21 වැනිදා අවසන් වන බවයි. එහෙත් ලෝක විනාශයක් පිළිබඳ කිසිඳු කතාවක් ඔවුන් පවසා නැහැ.

වර්තමානයේ අද භාවිතා කරනු ලබන දින දර්ශනය වසරාවසානයේ අවසන් වූ විට නව වසරක් එන්නා සේ නව වසරක් මායන්වරුන්ගේ දින දර්ශනයට ද එක් වනවා.

සත්‍යය තත්ත්වය මෙයයි. එහෙත් දින දර්ශනය අවසන් වූ විට ලෝක විනාශය සිදුවන බව පවසා ජනතාව මුලාකර තම මඩිය තර කර ගැනීමට රටවල් කිහිපයක් වගේම ව්‍යාපාරිකයන් ද බලා සිටිනවා.

මෙහි එක් කොනක සිටින්නේ මායන්වරුන් සිටින ගෝතමාලා රාජ්‍යයයි. තම රටට සංචාරකයන් ගෙන්වා ගැනීම උදෙසා ඔවුන් මෙවන් ප්‍රචාර ලොව පුරා ව්‍යාප්ත කරනවා. එසේම ඇමෙරිකාවේ ව්‍යාපාරිකයන් පොළව යට නිවාස තනා අලෙවි කරනවා. 


එමෙන්ම විශේෂ හෙල්මට් තනා අලෙවි කරනවා. එසේම මන්තරයක් ජප කිරීමෙන් ලෝක විනාශයෙන් ගැලවිය හැකි බවට ද ප්‍රචාරයක් ගෙන යනවා. අන්තර්ජාලය හරහා මුදල් ලබා ගෙන මෙම මන්ත්‍රය ජප කළ යුතු ආකාරය කියා දෙනවා.

එය ජප කරමින් සිටියහොත් ලෝක විනාශයෙන් ගැලවිය හැකි බවට කරනු ලබන ප්‍රචාර නිසා විශාල පිරිස් මන්ත්‍රය මිලදී ගන්නවා. වර්තමාන තත්ත්වය මෙයයි.

මේ සඳහා එක් එක් පාර්ශවයන් මතු කරනු ලබන කරුණු මොනවාදැයි බලමු.

මායාවරුන්ගේ දින දර්ශන දෙකක් තිබුණා. ඉන් පළමුවැන්න 13 පාදයෙන් සමන්විත වුණා. එහි අංක එකේ සිට 12 දක්වා අංකනය කර අවසානයේ 13 ට යළි 1 සහ 0 අංකය යොදනවා (10) (ඔවුන්ගේ අංකනයේ 13 ක් නැහැ) එහිදී දින දර්ශනය අවසන් වූවා. ඒ ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු මස 11 වැනිදා. 


2012 ලෝක විනාශයක් සිදු නොවන බවට හොඳම උදාහරණය එයයි. එදින ලෝකයට කිසිවක් සිදුවුණේ නැහැ. ඔවුන් ඉන්පසු 20 පාදයට නව දින දර්ශනයක් හැදුවා. එහිදී අප 20 යොදනවා වෙනුවට ඔවුන් පෙර මෙන්ම 1 සහ 0 සහිතව 10 භාවිතයට ගනු ලබනවා. 

එම දින දර්ශනයේ 19... 19... 19... යනුවෙන් අවසන් දිනය ලෙස 2012 දෙසැම්බර් මස 21 වැනිදා සඳහන් වනවා. මායන්වරුන්ගේ දින දර්ශනයට තවත් අංකයක් යෙදිය නොහැකි නිසා අපේ ජනතාව ලෝක විනාශය එදින සිදුවන බවට බොරු බියක් ඇතිකර ගෙන තිබෙනවා. 

නමුත් මායන්වරුන්ම පවසා තිබෙනවා මෙවන් චක්‍රීය දින දර්ශනයන් අසූ ගණනක් පමණ තිබෙන බවට. මේ නිසා සම්පූර්ණ කතාවම මිථ්‍යාවක් බව පෙන්වන්න පුළුවන්. මීට අමතරව මෙවන් දින දර්ශන සකස් කරනු ලබන කාලයේ ලෝකය ගෝලාකාර බවක් දැන සිටියේ නැහැ.

කෙසේ වෙතත් ලෝක විනාශය වන බවට බොරු ප්‍රචාර ගෙන යන්නන් පවසන්නේ වෙනත් ග්‍රහ ලෝකයක් පෘථිවියේ ගැටීමෙන් පෘථිවිය විනාශ වන බව යි. එම ග්‍රහලෝකය නිබ්‍රෝ නමින් හඳුන්වනවා. 


ප්ලූටෝ තරම් වූ මෙම ග්‍රහලෝකය පෘථිවියේ වැදීමෙන් නැත්නම් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමෙන් ලෝක විනාශය වන බව ඔවුන් පවසනවා. එසේ වුවත් එවැනි කිසිදු උපද්‍රවයක් සිදු නොවන බවට පැහැදිලි සාක්ෂ්‍ය දෙකක් ලබා දීමට පුළුවන්.

ඉන් පළමුවැන්න නම් එවන් ග්‍රාහකයක් තිබුණා නම් සිකුරු සහ අඟහරු ග්‍රහයන්ගේ කක්ෂ වරින්වර වෙනස් විය යුතුයි. එවන් වෙනසක් කිසිදු ආකාරයකින් සිදු වී නැහැ. එමෙන්ම අධෝරක්ත කිරණ උපයෝගී කරගත් දුරේක්ෂ ලොව පුරා සවි කිරීමට නාසා ආයතනය කටයුතු යොදා තිබෙනවා. 


ටෙනිස් බෝලයක් තරම් වන ගල් කැබැල්ලක් පැමිණියත් එයත් එම දුරේක්ෂවලට හසුවනවා. එසේ නම් මෙවන් ග්‍රහලෝකයක් දුරේක්ෂවලට නොපෙනෙන සේ පැමිණිය හැකි ද? එවෙනි කිසිවක් දැකීමට හැකියාවක් නැහැ.

එමෙන්ම සූර්ය කුණාටු මඟින් ලෝකයට බලපෑමක් ඇතිවී එමඟින් ලෝක විනාශ වන බව පවසනවා. සෑම වසර 11 කටම වරක් සූර්ය කුණාටු ඇතිවනවා. ඒක සාමාන්‍ය දෙයක්. පහුගිය දවස්වල සුළු සූර්ය කුණාටු ඇතිවුණා. සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රයේ ඇතිවන බලපෑම නිසා ද්‍රව්‍ය කදම්භ එළියට විදිනවා. එම නිසා වරින් වර එසේ සූර්ය කුණාටු ඇතිවනවා.

එම කුණාටු මඟින් චන්ද්‍රිකා සඳහා වන බලපෑමෙන් අපේ පණිවුඩ හුවමාරුව මඳ වේලාවකට ඈණහිටීම, භූගත කේබල් පිපිරීම වැනි සාමාන්‍ය බලපෑම් ඇතිවිය හැකියි. මේතාක් සූර්ය කුණාටු මඟින් විශාල හානි සිදු වී නැහැ. 


එමෙන්ම මීට වසර 11 කට පෙර පැමිණි සූර්ය කුණාටුවට වඩා අඩු කුණාටු තත්ත්වයක් මෙවර පවතින බවට සාක්ෂි ලැබී ඇත්තා සේම එම කුණාටු ඇති වන්නේ 2013 දී. එමෙන්ම ඇතැම් මිථ්‍යා මතධාරීන් පවසන්නේ පෘථිවි ගෝලය කැරකැවෙන උතුරු දකුණු අක්ෂ මාරු වන බවයි. 

පෘථිවියේ වයස අවුරුදු මිලියන 4500 ක් වනවා. මේ තාක් එවැනි කිසිදු දෙයක් වාර්තා වී නැහැ. පෘථිවියේ භ්‍රමණ අක්ෂය සුළු වශයෙන් වෙනස් වන්නට පුළුවන් විශාල ග්‍රාහකයක් වැදීමෙන්. එහෙත් එවැනි ග්‍රාහකයක් තිබෙන බවක් හඳුනාගෙන නැහැ.

එමෙන්ම පෘථිවියෙ චුම්භක ක්ෂේත්‍රයේ උතුරු - දකුණ මාරු වන බවට මතයක් ගෙනයනවා. ඒක විද්‍යාත්මක සත්‍යයක්. සෑම අවුරුදු මිලියන 2500 කටම වරක් පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයේ උතුරු දකුණු මාරුවීම සිදු වනවා. අපේ චුම්භක ක්ෂේත්‍රය අවුරුදු 100 කට අංශක 2 ක් පමණ හැරෙනවා. 


ඒ නිසා වසර 9000 කදී පමණ එය උතුරු දකුණු මාරුවීමට යාවි. එසේ වුවත් එහිදී ගැටලු මතුවන්නේ නැහැ. සංචාරක කුරුල්ලන්ට මාර්ගය සොයා ගැනීම අපහසු වනවා හැරෙන්නට අපේ ගුවන් මාර්ගවලට හෝ කිසිදු හානියක් වන්නේ නැහැ.

එමෙන්ම අපේ ක්ෂිරපථයේ මන්දාකිණියේ මධ්‍ය ලක්ෂය සූර්යයා හා පෘථිවිය එකම රේඛියව පිහිටුවනු බවත් එයින් හානි වන බවත් කියනවා. එයින් කිසිදු හානියක් වන්නේ නැහැ. මීට පෙර වසරවලදීත් ඒ අයුරින් එකම අයුරින් පිහිටා තිබෙනවා. 


දෙසැම්බර් මස මුල් සතියේ දී බුද සිකුරු සහ සෙනසුරු ආසන්න වශයෙන් පිහිටන නමුත් එයින් කිසිදු හානියක් නැහැ. ග්‍රහලෝක සියල්ල එකට පිහිටියත් එයින් අපට හානියක් නැහැ. අපේ ගුරුත්වාකර්ෂණ බලය ඉතා ඉහළයි.

ලෝක විනාශ විය හැකි ක්‍රම දෙකක් තිබෙනවා. අප ඒ ගැන අවධානය යොමු කළ යුතු වනවා.

මායන්වරුන්ගේ වත්මන් නායකපිලිප් ගෝමස්

ඉන් පළමුවැන්න සූර්යයාගේ හයිඩ්‍රජන් ඉන්ධනය අවසන් වීමෙන් සූර්යයා ඉදිමීමට ලක් වී පෘථිවි කක්ෂයට ආසන්න වී පෘථිවිය ඒ තුළ වැටී දැවී යාමට පුළුවන් වීමයි. ඒ ඉන්ධන අවසන් වීමට තව වසර මිලියන 4500 ක් පමණ කාලයක් තිබෙනවා.

අනික් සිදුවීම කිලෝමීටර් 10 ක පමණ විෂ්කම්භයක් ඇති ග්‍රාහකයක් වැටීමෙන්. එවැන්නක් ආසන්නයේවත් නැහැ.

එසේම ඇතැමුන් පවසන පරිදි ලෝකය අඳුරු වීමෙන් ශාක විනාශය සිදු වී ශාක භක්ෂකයන් වඳ වීමත් එයින් මාංශ භක්ෂකයන් වඳ වීමත් සිදුවන්න පුළුවන්. ඩයිනෝසරයන් වඳ වී ගොස් ඇත්තේ ඒ අයුරින් බව පවසනවා.

එසේ වුවත් ලෝක විනාශයක් සිදුවන ලකුණක් අප අසලකවත් නැහැ. එසේ නොමැතිනම් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවී න්‍යෂ්ටික යුද්ධයක් නිසා ලෝකය විනාශ වී යන්නට පුළුවන්. දෙසැම්බර් 21 වැනිදා එවැන්නක ලකුණක් නැහැ.

මේ නිසා සියල්ල තනිකරම මිථ්‍යා මත බව අප තේරුම් ගත යුතු වනවා. විද්‍යාව නිසි පරිදි තේරුම් ගැනීමට නම් එහි යථාවබෝධය අවබෝධ කරගන්නට වනවා. මිථ්‍යා මතධාරීන්ට යටත් වීමෙන් අපට සිදුවන්නේ හානියක් පමණයි.

ලෝකයේ මේ වන විට ඇතැම් අය බිය වී දිවි නසාගෙන තිබෙනවා. ඇතැමුන් ලෝක විනාශය සිදුවනු ඇතැයි සිතා තම ඉඩකඩම් දේපළ විකුණා විදේශ සංචාරවල නිරත වනවා. මෙවන් පිරිස් ගැන ලංකාවෙන් ද වාර්තා වනවා.

මේ ගැන විශාල බියක් ඇති වී කොස්මෝෆෝපියා නම් රෝගයක් හටගෙන තිබෙනවා. විශාල මානසික ආතතියක් මේ නිසා ඇති වී තිබෙනවා. ඔවුන්ට තාරකා විද්‍යාව ගැන කතා කිරීම පවා බිය උපදවන්නක් වෙලා. 


1910 දී හේලිගේ ධූම කේතුවේ වල්ගා තරුව පෘථිවිය අසලින් යාමේ දී හානි වළක්වා ගැනීමට එහිදී ව්‍යාපාරිකයන් වල්ගා තරු ප්‍රතිනාශක පෙති නමින් පෙති වර්ගයක් අලෙවි කළා. එම පෙති වර්ගය පාන්පිටිවලින් සෑදු ඒවා බවට පසුව දැනගන්නට ලැබුණා.

ඒ වගේම මෙවරත් ව්‍යාපාරික ප්‍රජාව ලෝක විනාශය තමන්ගේ අලෙවි භාණ්ඩයක් කරගෙන මේ තත්ත්වය අප අවබෝධ කර නොගත්තොත් විශ්ව භීතිකාවෙන් අපට ගැලවීමට බැරි වනවා.

මේ නිසා විද්‍යාව හා තාක්ෂණය අපගේ යහපතට දැනුමට මිස අපගේ භීතිය වර්ධනයට යොදා නොගත යුතුයි.


මීට අමතරව සූර්යයෙක් නොමැතිව ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක් පලමුවරට සොයාගන තිබෙනවා.

කිසිදු කක්ෂයක් නොමැතිව නිදහසේ ගමන් ගන්නා මෙම නිදහස් ග්‍රහලෝකය CFBDSIR J214947 ලෙසයි නම් කර ඇත.

දශකයක පමණ කාලයක් පරීක්ෂා කර සොයාගන තිබෙන මෙය හරියට පිදුරු ගොඩක තිබෙනා ඉඳිකටුවක් සොයාගැනීමටයි විද්‍යාඥයින් සමාන කර තිබෙන්නේ.

දශකයකට වැඩි කලක් කක්ෂයක් රහිතව ගමන් කර තිබෙන මෙය ග්‍රහලෝකයක් බවට හඳුනාගන ඇත්තේ එහි වායුගෝලයක් පවතින නිසාය.

වසර මිලියන 50-120 ක් පමණ ආයුකාලයක් ඇති මෙය බ්‍රහස්පතී මෙන් 4-6 ගුණයක් විශාලවේ. ආලෝක වර්ෂ 100ක පමණ දුරින් පිහිටා ඇති මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 400ක් පමණ වේ.





  






මේක ගොඩක් වටිනා ලිපියක් කියල දැනුනු නිසා මගේ බ්ලොගියේ දැම්මට.. මේක මගේ ලිපියක් නෙවෙයි..   http://www.hotandfastnews.com  ලිපියකි....
දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය වෙන්නේ නැත්නම් එදාට වෙන්නේ මොකද්ද..? Reviewed by සුදු මහත්තයා on 10:04 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.